Body

ඩයලොග් සහ ඉන්දිරා පිළිකා භාරය එක්ව, yeheli.lk හරහා ‘#පපුවටඅතතියලාදිවුරන්න’ වැඩසටහන දියත් කරයි

ස්වයං පරීක්ෂාව සඳහා නොමිලේ මතක් කිරීමේ SMS පණිවිඩ සමඟ දිවයිනම ආවරණය වන ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන හරහා, පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් ‌කෙරේ

2025 ඔක්තෝබර් 28         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාව වැළැක්වීම උදෙසා, සිය කාන්තා සවිබල ගන්වන ප්‍රමුඛතම yeheli.lk හරහා, ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත්කර තිබේ. ‘පපුවටඅතතියලා දිවුරන්න’ මැයෙන් මෙම වැඩසටහන දියත් කෙරේ. මේ හා අත්වැල් බැඳගත් ඩයලොග්, තාක්ෂණය භාවිතයෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව වැඩියුණු කිරීමටත්, කල්තියා තම රෝග හඳුනාගැනීමට ජනතාවට උපකාරී වීමටත් යළිත් වරක් ශක්තිමත්ව කැපවෙයි.

පියයුරු පිළිකාව ජයගැනීම සඳහා දියත් කෙරෙන මෙම වැඩසටහනේ එක් අදියරක් වන්නේ, මසකට දවසක් ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකිරීමට දිරිගන්වමින්, මාසික මතක් කිරීමේ කෙටි පණිවිඩ (SMS) සේවාවක් නොමිලේ දියත් කිරීමයි. ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකතන ජාල පාරිභෝගිකයින්ට ලබාගත හැකි පරිදි yeheli.lk හරහා දියත් කෙරෙන මෙම සේවාව මගින්, ශ්‍රී ලංකාව පුරාම කාන්තාවන්ට, කල්තියා රෝග හඳුනාගැනීමේ වැදගත්කම පිළීබඳ දැනුවත් කරමින්, එය ඔවුන්ගේ සෞඛ්‍ය යහපැවැත්මට අදාළ පුරුද්දක් ලෙසින් ප්‍රවර්ධනය කෙරේ.

සෑම දිනකම රෝගීන් 15 දෙනකු අලුතෙන් හඳුනාගන්නා පියයුරු පිළිකාව සැලකෙන්නේ, ශ්‍රී ලාංකාවේ කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය ලෙසයි. ඒ හේතුවෙන් සෑම දිනකම වටිනා ජීවිත 3 ක් අහිමි වීම කණගාටුදායක කාරණයකි. එපමණක් නොව, අධ්‍යයන මගින් පෙන්වාදෙන්නේ, සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් එක් අයකුම තම ජීවිත කාලය තුළ පියයුරු පිළිකාවට ගොදුරු වීමේ අවදානම පවතින බවයි. පියයුරු පිළිකාව කල් පසුවී හඳුනාගනු ලැබුවහොත්, ප්‍රතිකාර මගින් සාර්ථකව සුව කිරීමට පවතින අවස්ථාවන් ඉතාමත් අඩු බැවින්, සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම ක්‍රමවලින් එකක් වන්නේ, නිතිපතා කළ යුතු ස්වයං පියයුරු පරීක්ෂණයයි.

සෞඛ්‍ය, නීතිමය, සහ මනෝ සමාජීය ගැටලු සම්බන්ධව විශේෂඥ උපදෙස් සමගින් ශ්‍රී ලංකාව පුරාම කාන්තාවන් දැනුවත් කරන yeheli.lk, භාෂා තුනෙන්ම නිර්නාමිකව උපදෙස් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රථම උපදේශන සේවාවයි. ඒ හරහා, විවෘතව සාකච්ඡා කළ නොහැකි කරුණු සම්බන්ධයෙන් නිර්නාමිකව සහය අපේක්ෂා කරන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම තම අනන්‍යතාවය හෙළි නොවන පරිදි උපදෙස් ලබාගත හැක.

‘#පපුවටඅතතියලාදිවුරන්න’ වැඩසටහන දියත් කරමින්, ඩයලොග් සහ ඉන්දිරා පිළිකා භාරය, පියයුරු සෞඛ්‍යය පිළිබඳ කතාබහ සමාජයේ සාමාන්‍ය කාරණයක් බවට පත්කිරීමට පියවර ගනියි. ඒ සමගින්, පියයුරු පිළිකාව සම්බන්ධ නිවැරදි තොරතුරු ප්‍රජාවට ලබාදෙමින් කාන්තාවන් සවිබල ගැන්වීමටත්, රෝග කල්තියා හඳුනාගැනීමේ සංස්කෘතියක් රටපුරාම ඇති කිරීමත් එහි අපේක්ෂාවයි. පියයුරු පිළිකාව පිළිබඳ සමාජය දැනුවත් කරන මෙම වැඩසටහන මගින් තාක්ෂණය භාවිතයෙන් සමාජයට සුවසෙත උදා‌කිරීමේ ඩයලොග් හි පුළුල් අරමුණ විදහා දැක්වෙන අතර, ඒ සමගින් සෑම කාන්තාවකටම තම ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා ඉවහල් වන සෞඛ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීමට හැකියාව සැලසෙන බව සහතික කිරීමටද ඩයලොග් මේ හරහා කැපවෙයි.

පියයුරු ස්වයං පරීක්ෂාව පිළිබඳ ඔබට මතක් කරන SMS පණිවිඩයක් නොමිලේ ලබාගැනීමට සහ පියයුරු පිළිකාව කල්තියා හඳුනාගැනීම සඳහා ඔබේ ප්‍රතිඥාව ලබා දීමට, https://yeheli.lk/ වෙත පිවිස ලියාපදිංචි වන්න.