ඩයලොග් ආසිආටා, පොසොන් උදාව නිමිත්තෙන් රුවන්වැලි සෑ පුදබිම ඒකාලෝක කරමින් ‘ඩයලොග් ආලෝක පුජා’ පිංකම පවත්වයි
2025 ජූනි 09 Colombo

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙවර පොසොන් උදාව නිමිත්තෙන්, අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ පුදබිම දසදහසක් පහනින් ඒකාලෝක කරමින්, ‘ඩයලොග් ආලෝක පූජා’ පිංකම සංවිධානය කරයි. ශ්‍රී ලාංකේය බෞද්ධයින්ගේ සුවිශේෂි පොහෝ දිනයන් වන පොසාන් පුර පොහෝ දා, බුදුරදුන්ගේ අපරිමිත ගුණ සිහිගන්වමින් රුවන්වැලි සෑ රදුන් අභියස පහන් දල්වා, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට ආශිර්වාද පැමිණවීම මෙම ආලෝක පූජා පිංකමේ අරමුණයි. මෙම අසිරිමත් පිංකමට දිවයිනේ නන්දෙස බෞද්ධ ජනතාවට සැදැහැ සිතින් එක්වන ලෙස ඩයලොග් ආරාධනා කරයි.
ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය හා සම්ප්රදාය සුරැකීම උදෙසා ඩයලොග් දක්වන අඛණ්ඩ කැපවීම සනිටුහන් කරමින්, මෙවර පොසොන් උත්සවය සමරන ජුනි මස 10 වැනිදා, පුර පසළොස්වක පොහෝදා සවස 5:30 සිට 6:30 දක්වා, මෙම ඩයලොග් ආලෝක පූජා පිංකම පැවැත්වේ. හෝරාවක් පුරා මහ සෑ රදුන් පිදෙන ආලෝක පූජාවෙන් අනතුරුව, විශේෂ ධර්ම දේශනාවක් ද එම පරිශ්‍රයේ පැවැත්වෙන අතර, ඩයලොග් ආයතනය විසින් රුවන්වැලි මහසෑය සහ අවට පරිශ්‍රය විදුලි බුබුළු මගින් ආලෝකවත් කිරීමද සිදුකරනු ලබයි. එදිනට, එම පරිශ්‍රයට පැමිණ මෙම අසිරිමත් පිංකමට එක් විය නොහැකි සියලු දෙනාට මෙම පිංකම, TV දෙරණ නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමටද කටයුතු යොදා තිබේ.
ඉකුත් වෙසක් සමයේ ඩයලොග් දියත් කළ පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු Data දන්සලට සමානව, මෙම ආලෝක පූජා පිංකම පැවැත්වෙන දිනයේද, රුවන්වැලිසෑ පරිශ්‍රය තුළ QR එක Scan කර නොමිලේ Data හිමිකර ගතහැක. පොසොන් හා බැඳුණු මාහැඟි දානමය පුණ්‍යකර්මය පිළිබිඹු කරමින් මහ සෑ පරිශ්‍රයේ පිහිටි ස්ථාන 5 කදී එම Data දීමනා පිරිනමන අතර, එම ස්ථානවල පැමිණ QR එක Scan කිරීමෙන් ඩයලොග් පාරි භෝගිකයින්ට එම දීමනා ලබාගත හැක.
ඩයලොග්, මෙවන් ආගමික හා ජාතික වැදගත්කමක් සහිත වැඩසටහන් මගින් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළුව සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් හා බැඳුණු සන්නාමයක් ලෙස සිය අනන්‍යතාවය තවදුරටත් තහවුරු කරයි.