Body

ඩයලොග් පාරිභෝගිකයන් Star Points හරහා රුපියල් මිලියන 18 කට වැඩි පරිත්‍යාගයක් ‘Little Hearts’ වෙත සිදුකරයි:

2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 140 ඉක්මවයි

May 08th, 2024         Colombo

 

Dialog Customers Contribute to Little Hearts

ඩයලොග් පාරිභෝගිකයින් විසින්, ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන "Little Hearts" ව්‍යාපෘතිය වෙනුවෙන් තවත් වසරක් සඳහා රු.මිලියන 18 කට අධික, Star Points හෘදයාංගමව පරිත්‍යාග කර තිබේ. 2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 140 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ, හදවත් රෝග හා බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිකාර අවශ්‍ය කුඩා දරුවන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන්, රිජ්වේ ආර්යා රෝහලේ මහල් 12 කින් යුත් හදවත් රෝග හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම මෙම Little Hearts ව්‍යාපෘතියේ අරමුණයි.

2023 වසර තුළ සිදුකරන ලද පරිත්‍යාගය දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගොඩනගන හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මහඟු දායකත්වයක් ලබාදෙනු ඇත. මෙම ඒකකය දරුවන් සඳහා හෘද සැත්කම් සිදු කිරීමට හෘද ශල්‍යාගාර 4 ක්, කැතීටකරණ විද්‍යාගාරයක්, ඇඳන් 100 කට අධික හෘද රෝග සහ නව දරු උපත් දැඩිසත්කාර ඒකකයක්, ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් හා ඉහළම මට්ටමේ හෘද රෝග පරීක්ෂණ සහ පුහුණු ඒකක වලින් සමන්විත වේ. මෙම පරිත්‍යාගයට අමතරව, ඩයලොග් පාරිභෝගිකයින් විසින් ප්‍රජා සත්කාර වැඩසටහන් ගණනාවක් වෙනුවෙන් 2023 වසරේ Star Points හරහා මිලියන 22 කට ආසන්න මුදලක් පරිත්‍යාග කර තිබේ. SOS ළමා ගම්මාන, HelpAge ශ්‍රී ලංකා, සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය, UNICEF හා මනුදම් මෙහෙවර ඒ අතරට ඇතුළත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ පාරිභෝගික සේවා නිලධාරිනි සැන්ඩ්‍රා ද සොයිසා සඳහන් කර සිටියේ, "Little Hearts අරමුදල මෙන්ම අනෙකුත් ජනහිතකාමී වැඩසටහන් සඳහා තමන්ගේ Star Points පරිත්‍යාග කිරීමට එක් වුණු අපගේ ඩයලොග් පාරිභෝගිකයින්ට අපගේ කෘතඥතාව පළ කරන අතර ඩයලොග් අප, සැමවිටම ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහ සවිබල ගැන්වීමට නිබඳව ඇප කැප වී සිටිනවා. මෙවැනි වැඩසටහන් සඳහා ප්‍රජා සහභාගිත්වය පුළුල් කරමින්, අපගේ ඩයලොග් පාරිභෝගිකයින් සහභාගි කර ගැනීමට හැකි වීම අප ලද මහඟු ගෞරවයක්.” යනුවෙනි.

'Little Hearts’ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක, වෛද්‍ය දුමින්ද සමරසිංහ මෙලෙස පවසා සිටියේය. “Star Points පරිත්‍යාග කිරීමට සිය පාරිභෝගිකයන්ට අවස්ථාව සලසමින් මෙවැනි සද්කාර්යයකට ලබාදුන් සුවිශේෂී දායකතත්වයට ඩයලොග් ආයතනයට මගේ ස්තුතිය පළ කර සිටිනවා. ඒ වගේම පුංචි හදවත් රැකගැනීම වෙනුවෙන් සිය නොමසුරු පරිත්‍යාගශීලීත්වයෙන් දායක වූ පාරිභෝගිකයන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. වැඩිදියුණු කළ සෞඛ්‍ය පහසුකම් යටතේ අපගේ දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් දියත් කරන මෙවැනි ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා Star Points ලබාදෙන දායකත්වය මේ හරහා පිළිබිඹු වෙනවා".

ඩයලොග් පාරිභෝගිකයින්ට #141*6# ඇමතීමෙන් හෝ MyDialog App හරහා මෙවැනි ව්‍යාපෘතීන් සඳහා Star Points පරිත්‍යාග කළ හැකි අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍යාධාර වෙබ් අඩවිය වන www.karuna.lk වෙබ් අඩවිය ඔස්සේද පරිත්‍යාගයන් ලබාදිය හැකිය.