Body

ඩයලොග්, ICC විස්සයි විස්ස ලෝක කුසලාන 2026, ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ගේ සමීප අත්දැකීමක් කරයි

2026 ජනවාරි 25         කොළඹ

 

ඩයලොග්, ICC විස්සයි විස්ස ලෝක කුසලාන 2026, ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ගේ සමීප අත්දැකීමක් කරයි

වමේ සිට: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල දිසානායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු උප සභාපති, රවීන් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු උප සභාපති, ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී, සුපුන් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා ජාතික විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී, ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති / ව්‍යාපාර ප්‍රධානී - Media & Home, පුබුදු අලුත්ගෙදර මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, සමස්ත ක්‍රිකට් ලොවම පුල පුලා බලා සිටි ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නිමිති කරගනිමින්, සිය පාර්ශ්වකරුවන් සහ ක්‍රීඩාලෝලීන් ඒකරාශි කරගත් අභිමානවත් උත්සවයක් පවත්වන ලදී.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉකුත් වසර ගණනාව පුරා නොසැලෙන කාර්යභාරයක නිරත වී සිටින ඩයලොග් සමාගම, විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය ජනතාවගේ හදගැස්ම බඳු වූ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රමුඛ සහයෝගයක් පිරිනමයි. 'ජාතියේ ක්‍රීඩාව සවිබල ගැන්වීමේ’ නොසැලෙන කැපවීමට අනුව ඩයලොග්, ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයින් වෙත තව තවත් සමීප කිරීමේ අරමුණෙන් විවිධ පාර්ශව හා අත්වැල් බැඳගනිමින් කටයුතු කරන අතර, දිවයින පුරාම වැඩසටහන්ද දියත් කරයි. 2026–2028 කාලසීමාව සඳහා ICC තරගාවලි සඳහා නිල විකාශන අයිතියද ඩයලොග් සමාගම වෙත හිමි වීමද, මෙම ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයින් වෙත තව තවත් සමීප කිරීම සඳහා වන අඛණ්ඩ ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් වෙයි.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජනමාධ්‍ය, ආයතනික ක්ෂේත්‍රය ආදියේ පිරිස් සමගින් හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයෝද සහභාගී වූහ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ක්‍රිකට් උරුමය ඇගයීමත්, ක්‍රීඩාලෝලීන් හට ක්‍රීඩාව වින්දනය කිරීමට අවස්ථාව සැලසීමත්, 2026 ICC ලෝක කුසලානයේ පරිමාණය සහ වැදගත්කම ‍දේශීය ක්‍රීඩාලෝලීන් හට අවධාරණය කිරීමත් ආදිය සිදුවිය.

ICC විස්සයි විස්ස ලෝක කුසලාන 2026 තරගාවලිය නැරඹීමට පුල පුලා බලා සිටින ක්‍රිකට්ලෝලීන්ගේ අපේක්ෂා දල්වමින්, ලෝක කුසලාන තරගාවලියේ දී පිරිනැමෙන ජයග්‍රාහී කුසලානය මෙහිදී උත්සවාකාරයෙන් ප්‍රදර්ශනය කෙරිණි. ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියේ මහත් පිිළිගැනීමට ලක්වන එම කුසලානය, සමීපයේ සිට නැරඹීමට එම අවස්ථාවට රැස්ව සිටි උද්යෝගිමත් ක්‍රිකට්ලෝලීන් හට අවස්ථාව සැලසිණි.

මේ පිළිබඳ අදහස් දක්වමින්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා මෙලෙස සඳහන් කළේය. "ජාතික සමගිය සහ අනන්‍යතාවය ශක්තිමත් කිරීමට, ක්‍රීඩාව තුළින් වැදගත් කාර්යභාරයක් ඉටුකෙරෙනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාවන් ආදිය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට ඩයලොග් ආයතනය ලබාදෙන අඛණ්ඩ සහයෝගය, සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම තිරසාර පැවැත්මට වැදගත් වගේම, මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන ක්‍රීඩා තරගාවලි නැරඹීමට මහජනයාට අවස්ථාව සලසා දීමටත්, එම සහයෝගිතාවන් සුවිශාල වශයෙන් ඉවහල් වෙනවා.”

“පරම්පරා ගණනාවක් පුරා විවිධ ජන කොටස් එකිනෙක යා කරන ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය වගේ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි, ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් ඉමහත් උනන්දුවෙන් බලාසිටින වගේම ඔවුන්ගේ ඔවුන්ගේ මතකයේ රැඳෙන තරගාවලි බවට පත් වෙනවා. ඩයලොග් අපගේ අරමුණ, ඉහළම ගුණාත්මකභාවයකින්, විශ්වාසනීයත්වයකින් යුතුව, විවිධ platforms හරහා දිවයින පුරා ඉහළම ප්‍රේක්ෂක පිරිසක් වෙත රැගෙන යමින්, මෙම තරඟාවලියේ අසමසම අත්දැකීම් ජනතාව වෙත සමීප කිරීමට අර්ථවත් දායකත්වයක් ලබා දීමයි.” යනුවෙන්, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙහිදී පවසා සිටියේය.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්, බන්දුල දිසානායක මහතා මෙසේ පැවසීය. "ICC පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය, ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාව වැනි ක්‍රීඩාවට ආදරය කරන රටවලට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. 2026-2028 වකවානුව සඳහා ICC තරගවල විකාශන හිමිකම් උසුලන්නා වන ඩයලොග් සමග මේ සබැඳියාව, ලෝක කුසලාන වටා ශක්තිමත් ප්‍රේක්ෂක පවුරක් තැනීමක් මෙන්ම, රට පුරාම ක්‍රිකට් ක්‍රීඩාවට ඇති උනන්දුවේ තරම පිළිබිඹු කරන්නක්"

මෙම තරගාවලියේ උණුසුම, දිවයින පුරාම පුළුල් ප්‍රේක්ෂක පිරිසකගේ සමීප අත්දැකීමක් වන බවට සහතික වෙමින්, ඩයලොග් ටෙලිවිෂන් සහ Dialog Play App ඔස්සේ මෙන්ම, Supreme TV සමගින් 2026 ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් වෙත රැගෙන ඒමට කටයුතු කෙරේ.