பொருள் விரிவாக்கம்

ශ්‍රී දළදා පෙරහැරට 15 වැනි වරටත් ඩයලොග් අනුග්‍රහය

August 24th, 2021        Colombo

 

news-1

ශ්‍රී ලාංකේය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම පිණිස උරදෙන මෙන්ම ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දායකත්වය ලබාදෙන දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, කන්ද උඩරට සෙන්කඩගල සිරි දළදා පෙරහැරට මෙවරත් සිය බැතිබර අනුග්‍රාහකත්වය දක්වනු ලැබීය. පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ පෙරහැර දැඩි කෝවිඩ්19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ අගෝස්තු 13 සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට යෙදී තිබුණි.

ශ්‍රී ලංකාවේ පැරණිතම හා මහත් ගෞරවනීය ආගමික උත්සවයක් ලෙසින් සැලකෙන ශ්‍රී දළදා පෙරහැර ඇසල මාසයේදී (ජූලි හෝ අගෝස්තු) පවත්වනුයේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව පළමු ධර්ම දේශනාව පැවැත්වූ කාල වකවානුව ස්මරණය කිරීමක් ලෙසිනි. දින 10ක් පුරා පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැරෙහි අරමුණ වන්නේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ හා උන්වහන්සේගේ ආරක්ෂාව භාරවන හෙවත් භාරකාර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවතාවුන්වහන්සේලා ගෞරවයට පාත්‍ර කිරීම සහ බෝග වගාව සඳහා නියමිත කලට වර්ෂාව ලබාගැනීමත් රාජධානියේ සෞභාග්‍යය උදෙසා දේව ආශිර්වාදය අයැද සිටීමත්ය.

උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ මහජනතාවට සුපුරුදු පරිදි ආගමික කටයුතු සඳහා සහභාගි වීම හෝ පෙරහැර නැරඹීමට අවසර නොමැති වූ බැවින් මෙවර පෙරහැර, සීමාවන් බොහොමයකට යටත්ව සිදුකෙරිනි. නමුත් රට වැසියාට මේ උතුම් කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය කිසිඳු අමතර ගාස්තුවකින් තොරව Dialog Television ඔස්සේ සජීවීව නිවසේ සිටම නැරඹීමේ අවස්ථාව ලබා දීම මෙන්ම අවසන් මහා රන්දෝලි පෙරහැර 5G තාක්ෂණයෙන් බලගැන්වූ සජීවී අංශක 360 VR දර්ශන නැරඹුම් අත්දැකීමක් සමඟින් සිය නිල යූ ටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශනය කිරීමටද ඩයලොග් ආයතනය විසින් කටයුතු යොදා තිබුණි.

ශ්‍රී ලාංකීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් මුළුල්ලේ රටේ ප්‍රධාන සංස්කෘතික හා ආගමික උත්සව සඳහා සිය අනුග්‍රහය සපයයි. ශ්‍රී ලාංකේය බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන් වන්දනීය වූ, පූජනීය වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය වන, ශ්‍රී දළදා පෙරහැර සඳහා මෙවර ඩයලොග් සමාගම බැතිබර දායකත්වය ලබාදෙන්නේ 15 වෙනි වරටයි.