ඩයලොග් ආසිආටා, අඛණ්ඩ 21 වැනි වසරටත් ඓතිහාසික නිල් මහ සටන සවිමත්ව බලගන්වයි
2026 පෙබරවාරි 20 කොළඹ
රාජකීය - තෝමස් නිල්මහ සටන සඳහා, අඛණ්ඩ 21 වන වසරටත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අනුග්‍රාහකත්වය සනිටුහන් තබමින්, ඒ සඳහා වන අනුග්‍රාහක චෙක්පත, Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී නවින් පීරිස් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී උපසභාපති- සමූහ අලෙවි, හර්ෂ සමරනායක යන මහත්වරුන් විසින්, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති අසංක පෙරේරා මහතා සහ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා වෙත භාරදුන් අවස්ථාව.
වමේ සිට : ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කිරන් ලෝරන්ස් (ප්‍රධාන ශිෂ්‍ය නායක), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම් නායක අවිනාශ් ප්‍රනාන්දු, රාජකීය - තෝමස් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවේ සම-සභාපති, සජිත් කුලරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි (උප සභාපති - සමූහ අලෙවි) හර්ෂ සමරනායක කරණ,) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති අසංක පෙරේරා, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී නවින් පීරිස්, රාජකීය - තෝමස් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවේ සම-සභාපති, රමේෂ් අබේවික්‍රම, කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක, රෙහාන් පීරිස් සමග කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක, සහන් අගලවත්ත යන මහත්වරුන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්රයේ ඉහළින්ම කියැවෙන, දීර්ඝතම කාලයක් පුරා මහ තරග පිටියේ එදිරිවදීන් බවට පත්වන ‘නිල් මහ සටන’ මෙවර 147 වැනි වරටත් පැවැත්වෙද්දී, ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, අඛණ්ඩ 21 වැනි වරටත් මෙම ඓතිහාසික තරගය වෙනුවෙන් සිය සවිබලය සපයා සපයනු ඇත.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන කොළඹ රාජකීය විද්‍යාලය සමගින් ගැටෙන මෙම 147 වැනි නිල් මහ සටන 2026 මාර්තු 12,13 සහ 14 යන තෙදින මෙරට ප්‍රමුඛතම ටෙස්ට් ක්‍රීඩාංගණය වන කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය.
පොහොසත් සම්ප්රදාය, ආවේණික විලාසයන් සහ අසමසම ඉතිහාසයක් රාව ප්රතිරාව නැංවෙන, ලොව දෙවැනි දීර්ඝතම අඛණ්ඩ පාසල් ක්‍රිකට් තරග මාලාව වන මෙය කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර වන අචල මිත්‍රත්වය සහ ක්‍රීඩාවේ ජීව ගුණයට ප්‍රබල සාක්ෂියකි. නිල් මහ සටන යනු තවත් එක් ක්‍රිකට් තරගයක් නොව, මෙරට හෘද ස්පන්දනය බඳු ක්‍රිකට් ක්‍රීඩාවට අතිමහත් දායකත්වයක් දක්වමින්, වසර 150කට ආසන්න කාලයක් පුරා පැවත එන තරගකාරීත්වයේ සහ සහෝදරත්වයේ අන්දරයකි.
මෙම උත්කර්ෂවත්භාවය තවදුරටත් වැඩි කරමින්, බොහෝ දෙනා පුල පුලා බලාසිටින මස්ටෑන්ග්ස් කුසලාන එක්දින තරගය 2026 මාර්තු 28වැනිදා අභිනවයෙන් ආලෝකමත් කරනලද එස්.එස්.සී ක්රීඩාගංණයේදී දිවා-රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට යෙදී තිබේ.
එහිදී ආදී සහ වත්මන් රාජකීයයන් සහ තෝමසුවන් දෙපිරිසම, ඔවුන්ගේ සංකේතාත්මක වර්ණ වන නිල්, රන් සහ කළු පැහැයෙන් සැරසී, සිය පාසල්වල ප්‍රෞඪ උරුමයන් සමරනු පිණිස මෙහිදී යළිත් රැස්වනු ඇත. දෙවිදුහල් සිසුන්, ආදි සිසුන් සහ ලොව පුරා විහිද සිටින ක්‍රිකට් ක්‍රීඩාව ආත්මය කරගත් උදවියද ක්‍රීඩාවේ නාමයෙන් එක්සත්ව කොඩි ලෙලවමින් නගන ජය ඝෝෂාවෙන් සහ සාම්ප්‍රදායික සටන් පාඨ ආදියෙන් එස්.එස්.සී පිටිය රාව ප්රතිරාව නැංවෙනු ඇත.
ඉදිරියෙදී ජාතික සහ ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වීම සඳහා නියමිත අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ පිටිය මැද රංගනය ඇස් පනාපිට දැක ගැනීම පිණිස මෙය වේදිකාවක් බවට පත්වනු ඇත. Big Match Season හී සුවිශේෂී අංගයක් බවට පත්වන මෙම ඓතිහාසික ගැටුම, සම්ප්රදාය, අසිරිය සහ ක්‍රීඩා විශිෂ්ටත්වය ආදිය එකට මුසුකර පෙරට රැගෙන යමින් ජාතියේ ආදරණීයම ක්‍රීඩා එදිරිවාදිකමක් සැමරීම පිණිස පරම්පරා කිහිපයක් එකිනෙකා එක්කරනු ලබයි.
ඩයලොග් ආසිආටා පී.එල්.සී ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා ප්‍රවර්ධකයා මෙන්ම මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සමග නිබඳව රැඳෙන අනුග්රාහකයකු වේ. යොවුන් දක්ෂතා පෝෂණය කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ පරම්පරාවේ විශිෂ්ටයන් පෝෂණය කිරීම සඳහා නිබඳව කැපවන එම සමාගමේ එකතුව, නිල් මහ සටනේ උරුමය පෙර නොවූ විරූ ලෙස ශක්තිමත්ව රැඳී පවතින බවට සහතිකයකි. එම සමාගමේ මෙම අඛණ්ඩ සහය, අන්රගාහකත්වයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් ද වේ.
“මේ එළඹී තිබෙන්නේ අධ්‍යයන කටයුතු පසෙකලා සියලු දෙනාගේ උනන්දුව ක්‍රීඩාවට යොමුවන කාලයයි. මුළු මහත් පාසල් ප්‍රජාවම උනන්දුවෙන් දැන් බලා සිටින්නේ කීර්තිමත් සේනානායක කුසලාන හිමි කර ගැනීම සඳහා පිටියේ කරට කර සටන් වදින සුදු වතින් සැරසුණු ක්‍රීඩකයින් 11 දෙනෙකුගේ දක්ෂතා දෙසයි. ලොව දෙවැනි දීර්ඝතම, අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාමයේ එකසිය 147 වැනි සටන දිග හැරෙන මේ අවස්ථාවේ, මෙම ක්‍රිකට් සම්ප්රදායේ අඛණ්ඩ පාර්ශව කරුවන් ලෙසින් කටයුතු කරන කණ්ඩායම් දෙකටම අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා. ඒ වගේම, මෙය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර බැඳීම, සදාකාලික බැඳීමක් කරන සම්ප්රදායක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම මෙවරක් අප හා අත්වැල් බැඳගත් සියලුම අනුග්‍රාහක භවතුන්ට මගේත් විද්‍යාලයේත් ඒකාබද්ධ සංවිධායක කමිටුවෙත් ස්තූතිය පිරිනමනවා.” යනුවෙන් ශාන්ත තෝමස් විද්‍යාලයේ උප විදුහල්පති අසංක පෙරේරා මහතා සඳහන් කළේය.
“තවත් රෝයල් තෝමියෙන් තරඟයක් ඉදිරියේ තිබියදී, විවිධ අභියෝග ජයගනිමින් වෙනස්වීම් මධ්‍යයේ අවුරුදු 146 ක් මෙම තරගය අඛණ්ඩව පවත්වාගෙන ඒමේ ජයග්‍රහණයත් අපි සමරනවා. මෑත කාලයේ මෙම තරගය, ඩිජිටල්කරණය, ප්රමිතීන්, තිරසාරභාවය සහ සමාජ වගකීම් වැනි අංග සමගින් නවතම මුහුණුවරක් ගනු ලැබුවා. ඩයලොග් ආයතනය, 21 වසරක් අඛණ්ඩ ඩයලොග් සහ තවත් බොහෝ පිරිසකගේ අනුග්‍රහයෙන් පැවැත්වෙමින් එන මෙය පාසල් ක්‍රිකට් තරගයක් පමණක් නොවෙයි, ක්‍රීඩකයින්ගේ පුද්ගල පෞරුෂය ගොඩනංවමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ දීර්ඝ කාලයක් පවතින අභිමානවත් උරුමයක්.” යනුවෙන් සම සභාපති රමේෂ් අබේවික්‍රම මහතා සඳහන් කළේය.
“වසරේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩා අංගයක් ආසන්නව තිබියදී, ක්‍රීඩකයින් 22 දෙනකු හා පාර්ශව කරුවන් විශාල පිරිසක් සමග, ලොව වසර එකසිය 146 ක් අඛණ්ඩව රැකගෙන ආ ශ්‍රේෂ්ඨ ක්‍රීඩා උරුමයක් අපි මෙලෙස සමරනවා. රාජකීයයන් සහ තෝමියන්වරුන් ලෙස මෙම නොබිඳුණු සම්ප්රදාය පිළිබඳව අප තුළ පවතින්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම, මෙම තරඟය කණ්ඩායම් දෙකට පමණක් නෙවෙයි, මේ උරුමය රැක ගැනීමට වෙහෙසෙන සියලු දෙනාට සතුටුදායක වගේම අමතක නොවන තරගයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් කොළඹ හත රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා සඳහන් කළේය.
Dialog Enterprises හි ප්‍රධාන විධායක නිලධාරී නවීන් පීරිස් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය. “ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් තරගවල සුවිශේෂී සංධිස්ථානයක් වන ‘නිල් මහ සටන’ සමග අප පවත්වාගෙන යන දීර්ඝ කාලීන සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවීම, ඩයලොග් ආයතනය නිහතමානීව ආඩම්බර වන කාරණයක්. අපි පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට මෙලෙස සහය වීමට හේතුව තරුණ දක්ෂතා පෝෂණය කිරීමෙන්, ක්‍රීඩාව කෙරෙහි ජීවිත කාලය පුරාම උනන්දුවක් ඇති කළ හැකි බවට අපි විශ්වාස කරන නිසයි. නිල් මහ සටන වැනි තරගයක් හරහා ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ පොහොසත් සම්ප්රදාය සුරකිමින්, මීළඟ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිකිරීමට දායක වීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් අපි නිරතුරුවම කැප වෙනවා.”
2025 වසරේ මාර්තුවේ පැවැති 146 වැනි නිල් මහ සටනත් සමගින්, මෙතෙක් තරග ඉතිහාසයේ ශාන්ත තෝමස් කණ්ඩායම අවස්ථා 36 කදී ද රාජකීය කණ්ඩායම අවස්ථා 36 කදී ද ජයග්‍රහණ වර්තා කර ඇති අතර තරග 74 ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත. ඉකුත් වර හෙවත් 2025 නිල් මහ සටන ජයගනිමින් ශාන්ත තෝමස් කණ්ඩායම සිය ජයග්‍රහණ සංඛ්‍යාව 36ක් දක්වා රැගෙන යමින් ජයග්‍රහණ එකතුව අතින් දිගුකලක් පුරා ඉදිරියෙන් සිටි රාජකීයන් හා සමවීමට තෝමසුවන්ට හැකිවිය. මෙරව ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය දෙමින්, ඉකුත් වසරේදී ඔවුන් සතුකරගත් ඩී.එස් සේනානායක පළිහ රැකගැනීමේ වගකීම අවිනාශ් ප්‍රනාන්දු වෙත පැවරී ඇති අතර සිය පාසල වෙත එම පළිහ නැවත රැගෙන ඒමේ අරමුණින්, රෙහාන් පීරිස් විසින් රාජකීය පිළට නායකත්වය දෙනු ලබයි.
147 වන නිල් මහ සටන සහ 49 වන මස්ටෑන්ග්ස් කුසලානය සඳහා වන ප්‍රවේශපත් රාජකීය විද්‍යාල සංගමයෙන් සහ ශාන්ත තෝමස් විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් කාර්යාලයෙන් මිලදී ගත හැකිය. පුරාවෘත්තයක් බවට පත්වන තරගය නැරැඹීමට සැරසෙන දැවැන්ත ප්‍රේක්ෂක සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ අංක එකේ පාසල් ක්‍රිකට් තරගයේ ආසනයක් වෙන් කර ගැනීම සඳහා කල් ඇතිවම කටයුතු කිරීම යෝග්‍ය වේ. 147 වන නිල් මහ සටන සහ මස්ටෑන්ග්ස් කුසලාන තරගයේදී ක්‍රිකට් ජවය, සම්ප්රදාය සහ ක්‍රීඩාශීලීත්වය විඳගැනීම සඳහා එක්වන මෙන් ආරාධනා කෙරේ.
ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 126 ඔස්සේ මෙන්ම Dialog Play Mobile App සහ ThePapare.com ඔස්සේ රාජකීය-ශාන්ත තෝමස් සටනේ සෑම දසුනක්ම සජීවීම නැරඹීම පිණිස ශ්‍රී ලංකාවේ අංක එකේ 5G ජාලය හිමි ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ක්‍රීඩාලෝලී ජනතාවට ආරාධනා කරනු ලබයි.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩයලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.