Body

ඩයලොග් සම්බන්ධතාවයන් කඩිනමින් ප්‍රතිස්ථාපනය කරමින් ජාල ආවරණය පුළුල් කිරීම සඳහා කැපවෙයි

2025 දෙසැම්බර් 10         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

(වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රංග කාරියවසම් මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලිම් ලී සාන් මහත්මිය

 

  • දිට්වා සුළි කුණාටුව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ෆයිබර් ප්‍රධාන ජාලය සහ දුරකතන කුළුණු 6,000 න් 2,200 ක් බලපෑමට ලක් වූ අතර, ඩයලොග් මේ වන විට සම්පූර්ණ ජාලයම යථා තත්ත්වයට පත් කිරීමට සමත්ව සිටියි.
  • මෙම කඩිනම් ප්‍රතිස්ථාපන මෙහෙයුම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන මගින් ලබාදුන් සහයෝගය ඩයලොග් ඉහළින්ම අගය කරයි.
  • උද්ගත වාතාවරණය හමුවේ, අත්‍යවශ්‍ය වූ සන්නිවේදනය පවත්වාගැනීම සඳහා ජංගම දුරකතන, Home Broadband සහ Dialog Television සේවාවන් හරහා මිලියන 8 කට අධික පාරිභෝගිකයින් වෙත, නොමිලේ voice, SMS සහ data මෙන්ම, දෙස් විදෙස් ටෙලිවිෂන් චැනල් 39 ක් නැරඹීමේ අවස්ථාවද ඩයලොග් පිරිනමන ලදී.
  • උද්ගත තත්වය හමුවේ සම්බන්ධාවන්ට බාධා මතුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව තම කණාගාටුව පළ කරන ඩයලොග් තම ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවත් අවධාරණය කරයි.
  • සේවා පහසුකම් අවම ප්‍රදේශවල අලුතෙන් දුරකතන කුළුණු 800 ක් පිහිටුවමින් ඩයලොග් ජාල ආවරණය තවත් පුළුල් කිරීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා ඔරොත්තු දෙන පරිදි යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට, ඉදිරි වසර තුන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් (රු. බිලියන 75) ක ආයෝජනයක් සිදු කිරීමට ඩයලොග් සැලසුම් කර තිබේ.

 

ඉකුත් දිනවල පැවති අයහපත් කාලගුණය හමුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන්, මෑත ඉතිහාසයේ වඩාත් අභියෝගාත්මක වූ කාලපරිච්ඡේදයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය. එම තත්ත්වය මත පවුල් ගණනාවක් අවතැන් වීමත්, දිස්ත්‍රික්ක ගණනාවක අත්‍යවශ්‍ය සන්නිවේදන යටිතල පහසුකම්වලට බිඳවැටීමත් සිදුවිණි. ශ්‍රී ලාංකාව පුරාම පාරිභෝගිකයින් සම්බන්ධතාව‌යෙන් යා කරන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙම ජාතික ආපදා තත්ත්වය හමුවේ සිය මෙහෙවරට උරදෙමින් දීප ව්‍යාප්ත මෙහෙයුමක් දියත් කරන ලදී. ඒ අනුව, රටපුරාම හදිසි මෙහෙයුම් කටයුතුවලට සහය දැක්වීමටත්, ආපදා සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන සඳහා අත්‍යවශ්‍ය සන්නිවේදන සම්බන්ධතාවයන් ලබාදීමටත් ඩයලොග් සමත් වූ අතර, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් සඳහා ඩයලොග් සම්බන්ධතාවය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමටත් ඩයලොග් වෙත හැකි විණි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඩයලොග් ජාලයට සිදු වූ තාක්ෂණික බලපෑම මෙන්ම, එය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් කටයුතු පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රංග කාරියවසම් මහතා මෙලෙස අදහස් දැක්විය. “පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන්, අපගේ ජාලයට ක්‍රම කිහිපයකින්ම බරපතල ලෙස හානි වුණා. ෆයිබර් ප්‍රධාන ජාලය හානිවීමත්, අපගේ දුරකතන සම්ප්‍රේෂණ උපකරණ ජලයෙන් යටවීමෙන් වගේම, දීර්ඝ කාලීනව විදුලිය බිඳ වැටුණු තත්ත්වය යට‌තේ අපගේ කුළුණු 6,000 න් 2,200ක සම්බන්ධතාවයට බාධා මතු වුණා. ගංවතුර හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ප්‍රවේශය සීමා වීමත් නිසා සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීමට බාධා මතු වුණා. අපගේ සම්බන්ධතාවයට විශාල වශයෙන් බාධා පැන නැගුණු මෙවැනි සංකීර්ණ තත්ත්වයක් මින් පෙර මතුවී නැහැ. ඒ වුණත්, එම අභියෝග නොසලකා, සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට දිවා රෑ‌ නොබලා කඩිනමින් කටයුතු කළ අපගේ කණ්ඩායම් මෑත ඉතිහාසයේ වේගවත්ම ප්‍රතිස්ථාපන මෙහෙයුම සිදු කළා. ඒ අනුව, දැන් අපගේ ඩයලොග් ජාලය, සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබෙන බව සතුටින් ප්‍රකාශ කළ හැකියි. මෙය, අපගේ ඉංජිනේරු, සහ සහය කණ්ඩායම්වල කැපවීමත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, TRCSL වගේම ප්‍රාදේශීය බලධාරීන් ලබාදුන් සහයෝගයත් හේතුවෙන් ලද ජයග්‍රහණයක්. ඒ සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනා අප කෘතවේදීව අගය කිරීමටත් කැමතියි”

මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් මිලියන 8 කට අධික පිරිසකට ඩයලොග් සේවාවන් හරහා සහනද පිරිනැමීමටද කටයුතු කරන ලදී. ඒ අනුව, ජංගම දුරකතන පාරිභෝගිකයින්ට මිලියන 6 කට නොමිලේ voice මිනිත්තු, බිලියන 1.4 ක් හා SMS බිලියන 1.4 ක් සහ mobile data GB මිලියන 4.5 ක් පිරිනමන ලදී. ඒ සමගින්, Home Broadband පාරිභෝගිකයින් මිලියනයකට ආසන්න පිරිසකට, නොමිලේ හදිසි data quota ලෙස GB මිලියන 10 ක්ද ලබාදුනි. Dialog Television පාරිභෝගිකයින් මිලියන 1.6 කට අමතර ගාස්තුවකින් තොරව චැනල් 39 ක් නැරඹීමේ අවස්ථාවද ඩයලොග් උදාකර දෙනු ලැබිණි. සන්නිවේදන සම්බන්ධතාවය වඩාත් අවශ්‍ය මෙම කාල පරිච්ඡේදයේදී ඩයලොග් විසින් පිරිනමන ලද මෙම සහනවලින්, මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ට තම ආදරණියයන් හා අඛණ්ඩ සම්බන්ධතාවය පවත්වා ගැනීමටත්, තොරතුරුවලින් දැනුවත් වී සිටීමටත් හැකිවිය.

එපමණක් නොව, ආපදා හදිසි මෙහෙයුම් සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා චන්ද්‍රිකා තාක්ෂණය හරහා සම්බන්ධතාවය සහ Wi-Fi සම්බන්ධතා ලබාදෙමින්, හදිසි මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය සන්නිවේදනය සහතික කරමින් මෙම ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීමට දායක වු ඩයලොග්, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සක්‍රීය කිරීමටත්, ආපදාව සම්බන්ධ හදිසි දැනුම් දීම් මිලියන 40 කට අධික ප්‍රමාණයක් නිකුත් කිරිමටත් කටයුතු කරනු ලැබීය. එමෙන්ම, තම සමාගම හා අත්වැල් බැඳගත් ආයතන හා සහයෝගයෙන්, දිවයිනේ පවුල් 400,000 කට අධික සංඛ්‍යාවකට සහන ලබාදීමටද පියවර ගනු ලැබීය. මෙම ආපදාව හමුවේ බලපෑමට ලක්වූ තම කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම, දිවයින පුරාම ඩයලොග් වෙළෙඳ නියෝජිතයින් සහ බෙදා හැරීමේ ජාලයේ සාමාජිකයින් වෙතද ඩයලොග් හි සහය හිමි විණි.

මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI) ලෙසින් තවදුරටත් මෙරට ආයෝජන සඳහා කැපවීම ඩයලොග් හි අරමුණයි. ඒ සඳහා ජාල ආවරණය තවදුරටත් පුළුල් කරමින්, සේවා පහසුකම් නොමැති ප්‍රදේශවල අලුතෙන් දුරකතන කුළුණු 800 ක් පිහිටුවීම සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් (රු. බිලියන 75) ඉදිරි වසර තුන සඳහා ආයෝජනය කිරීමටත් සූදානම් බවට ඩයලොග් නිවේදනය කරයි.

මෙම ආපදා තත්ත්වයෙන් අනතුරුව, ශ්‍රී ලංකාව නගාසිටුවීම සම්බන්ධයෙන් පවතින අඛණ්ඩ කැපවීම පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස සඳහන් කළේය. “මෙම ආපදා තත්ත්වය නිසා පාරිභෝගිකයින්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පළ කරනවා. ඒ වගේම, මෙවැනි තත්ත්වයන් සඳහා මුහුණ දීමට අපගේ ජාලය තවත් ශක්තිමත් කිරීමට අපි කටයුතු කරන බවත් අවධාරණය කරනවා. මෙම අර්බුදය හමුවේ, කැපවීමෙන් කටයුතු කළ අපගේ ආයතනයේ සියලු කණ්ඩායම්වලට, මගේ ස්තූතිය පළ කිරීමටත් කැමතියි. අද දවසේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට සහ වඩාත් සූදානම් අනාගතයක් සඳහා අපගේ ජාල ආවරණය තවදුරටත් ව්‍යාප්ත කරමින්, වඩාත් ශක්තිමත් සම්බන්ධතාවයක් පිරිනැමීමටත් අපි කැපවෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි."

දැනටමත්, රට පුරා යථා තත්ත්වයට පත්කර ඇති සම්බන්ධතාවය සමගින්, අනාගතය උදෙසා වඩාත් ශක්තිමත් හා ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම ඩයලොග් හි අරමුණයි. එම අර්ථවත් කාර්යභාරය මුදුන් පමුණුවා ගැනීමට, සියලු ශ්‍රී ලාංකිකයින් හා අත්වැල් බැඳගනිමින් කටයුතු කරන බවට ඩයලොග් සමාගම තවදුරටත් සහතික වෙයි.