பொருள் விரிவாக்கம்

ඩයලොග්, ශ්‍රී ලාංකිකයින්ගේ රසාස්වාදයේ නවතම පරිඡේදයක් සනිටුහන් කරමින්, Dialog Play හඳුන්වා දෙයි

2026 පෙබරවාරි 03         කොළඹ

 

වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති - සමූහ අලෙවි, හර්ෂ සමරනායක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති/ ව්‍යාපාර ප්‍රධානී - Media and Home, පුබුදු අලුත්ගෙදර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තේවෙරප්පෙරුම මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සමග ‘Dialog Play’ සන්නාම තානාපතිවරුන් වන මාධව විජේසිංහ මහතා, ෆැලන් ඇන්ඩ්‍රියා මෙනෙවිය සහ රාශිප්‍රභා සංදීපනී මෙනෙවිය ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට පාරිභෝගිකයින් අත්විඳින විනෝදාස්වාද අත්දැකීම නවතම මානයක් කරා රැගෙන යමින් ‘Dialog Play’ සන්නාමය හඳුන්වාදුන් බව සතුටින් යුතුව දැනුම් දී තිබේ. Dialog Television සහ Dialog ViU යන සේවාවන් ඒකාබද්ධ කරමින්, “අසමසම රසාස්වාදය” යන තේමා පාඨය සමගින් දියත් කරන ලද Dialog Play හරහා, පාරිභෝගිකයින්ට තමන් කැමතිම වැඩසටහන්, ඕනෑම තැනක සිට ඕනෑම උපාංගයක් හරහා පහසුවෙන්ම නැරඹීමේ නිදහස ඔවුන් වෙත පිරිනමයි.

ශ්‍රී ලාංකිකයින්ගේ විනෝදාස්වාද අවශ්‍යතාවන් සහ රුචිකත්වයන් වේගයෙන් වෙනස් වෙමින් පවතින මේ යුගයේ, පාරිභෝගිකයින් වඩාත් කැමැත්තක් දක්වන්නේ තමන්ට අවශ්‍ය විට රූපවාහිනිය සහ ජංගම දුරකතනය යන උපාංග පහසුවෙන් භාවිත කරමින්, තමන්ට ගැළපෙනම වැඩසටහන් නැරඹීමටයි. ඩයලොග් හි සියලුම විනෝදාස්වාද සේවාවන් එක් platform එකකින් නැරඹිය හැකි, Dialog Play සරල ක්‍රියාවලියක් ඔස්සේ පහසුවෙන්ම පිවිස, පාරිභෝගිකයින් කැමතිම වැඩසටහන් නැරඹීමට හැකියාව සලසා තිබේ.

දේශීය හා ජාත්‍යන්තර චිත්‍රපට, ටෙලි නාට්‍ය, සජීවී ක්‍රීඩා, අධ්‍යාපනික සහ සංගීත, ඇතුළු වැඩසටහන් රාශියක් නැරඹිය හැකි Dialog Play හරහා පාරිභෝගිකයින්ගේ මුළු පවුලේම කැමැත්තට ගැළපෙන වැඩසටහන් නැරඹිය හැකි වීම වඩාත් පහසුවකි.

පාරිභෝගිකයින්ට, තම රූපවාහිනී යන්ත්‍රයෙන් සැටලයිට් මගින් මෙන්ම, Hub, Mini සහ Smart TV App හරහාද Dialog Play වෙත පිවිස අසමසම රසාස්වාද අත්දැකීමකට එක්විය හැක. ජංගම දුරකතනයෙන්, Dialog Play මොබයිල් App එක හරහා ද ඕනෑම තැනක සිට මෙම සේවාව අත්විඳිය හැකි වේ. දැනට Dialog Television සහ Dialog ViU භාවිත කරන පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව පෙර පරිදිම සිය සේවාවන් ලබාගත හැකි අතර, ඔවුන් වෙත එම සේවාවන් මෙම නවතම Dialog Play සන්නාමය යටතේ පිරිනැමේ.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙලෙස සඳහන් කළේය. "Dialog Play අපගේ විනෝදාස්වාද විසඳුම්වල මීළඟ අදියරයි. පාරිභෝගිකයින් සියලු විනෝදාස්වාද අවශ්‍යතා එකම platform එකක් හරහා වඩාත් සරල හා නම්‍යශීලී ලෙස ලබාදීමේ අවශ්‍යතාව අපි හඳුනාගත්තා. Dialog Play වෙත පහසුවෙන්ම පිවිස, ඕනෑම තැනක සිට තමන් කැමති වැඩසටහන් නැරඹීමේ හැකියාව සහතික කරමින්, මේ හරහා අන්තර්ගතයන් රාශියක් අපි ඔවුන් වෙත පිරිනමනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තේවෙරප්පෙරුම මහතාද මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්විය. "Dialog Play තවත් එක් නවතම සන්නාමයක් පමණක් නොවෙයි. එය අපගේ පාරිභෝගිකයින්ට Dialog සමග, ඔවුන් කැමතිම විනෝදාස්වාද අත්දැකීම් ලබාදීම සඳහා අප දැරූ ප්‍රයත්නයක්. අපගේ සියලුම විනෝදාස්වාද අන්තර්ගතයන්, අනාගතයට ගැළපෙන අයුරින්, එකම platform එකක් ඔස්සේ මෙලෙස ලබාදීම හරහා පාරිභෝගිකයින්ට තමන් කැමතිම වැඩසටහන් පහසුවෙන්ම නැරඹිය හැකියි. අපගේ “අසමසම රසාස්වාදය” තේමා පාඨයෙන් ඒ සඳහා දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කෙරෙනවා.

මෙම නවතම හඳුන්වාදීමත් සමඟ, ඩිජිටල් විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට යළි යළිත් තහවුරු කරන ඩයලොග්, පාරි‌භෝගිකයින්ගේ කැමැත්ත, පහසුව සහ සරල බව සමගින් අඛණ්ඩ සම්බන්ධතාවයෙන් ඔවුන් බලගන්වයි. ඒ සඳහා Dialog Play, මෙලෙස පාරිභෝගිකයින් වෙත රැ‌ගෙන එමින්, ශ්‍රී ලාංකිකයින්ගේ රසාස්වාද ගමන් මගේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් තබයි.