பொருள் விரிவாக்கம்

ඩයලොග් සමාගම අඛණ්ඩව 14 වැනි වරටත් ගංගාරාමය නවම් මහා පෙරහර වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙයි

2026 පෙබරවාරි 03         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන් රැකගනිමින් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් වූ සිය දීර්ඝ කාලීන කැපවීම තවදුරටත් සනාථ කරමින්, ගංගාරාමය නවම් මහා පෙරහර සඳහා අඛණ්ඩව 14 වැනි වරටත් සිය අනුග්‍රාහකත්වය ලබාදී තිබේ. බෞද්ධයාගේ සුවිශේෂී දිනයක් වන නවම් පොහෝ දිනය සමරමින් සංවිධානය කෙරෙන නවම් පෙරහැර, මෙරට මුල් බැසගත් බෞද්ධ සංස්කෘතික උරුමය විදහාපාමින් ජනවාරි මස 31 සහ පෙබරවාරි 1, දෙදින තුළ පැවැත්වුණු අතර, පෙරහරෙහි අපූර්වත්වය විඳගැනීම පිණිස මෙවරත් රටේ සෑම තරාතිරමක ජනතාව මෙන්ම විදෙස් සංචාරකයෝද පැමිණ සිටියහ.

ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය රැක ගැනීමේ ප්‍රධාන දායකයකු ලෙසින් මෙරට කලාත්මක හා ආගමික සම්ප්‍රදායන් පොහොසත් කිරීම උදෙසා ඩයලොග් දක්වන අඛණ්ඩ කැපවීම, ගංගාරාමය නවම් මහා පෙරහැරට මෙලෙස දායකත්වය පිරිනැමීම තුළින් විදහා දැක්වේ. මෙරට මුල් බැසගත් බෞද්ධ සම්ප්‍රදායන් රැක ගනිමින් ඒවා ප්‍රචලිත කිරීම පිණිස, එම දායකත්වය ප්‍රබල ශක්තියක් වන අතරම, රටේ තාක්ෂණික හා සංස්කෘතික පෙරගමන්කරුවා ලෙසින් සමාගමේ කාර්යභාරයද එමගින් තව තවත් තහවුරු වේ.

ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ හා ඉදිරි පරම්පරාවන් වෙත ඒවා දායාද කිරීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව ඩයලොග් විසින් මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම, ගංගාරාමය නවම් මහා පෙරහරට අමතරව, මහනුවර ඇසළ පෙරහර, කැලණිය දුරුතු මහා පෙරහර, කතරගම ඇසළ පෙරහර සහ ගැටබරු ඇසළ පෙරහර සඳහා ඩයලොග් අඛණ්ඩ දායකත්වය පිරිනමයි. ඒ හැරුණු විට, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීමේදී මෙන්ම විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී සහ අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද ඩයලොග් මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.