பொருள் விரிவாக்கம்

ඩයලොග් 5G Ready ජාලය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 15ක් පුරා විහිදෙයි

                    ශ්‍රී ලංකාවේ වඩාත්ම උසස් අධිවේගී 5G Ready ජාලයෙන් ශ්‍රී ලාංකිකයින් බල ගැන්වේ                  

2025 ඔක්තෝබර් 23         Colombo

 

Dialog Trials 5G Across 15 Districts Nationwide

 

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය කරා සාර්ථකව මෙහෙයවීමට ඇති කැපවීම යළිත් වරක් සනිටුහන් කරමින් අනාගත සම්බන්ධතාව‌යේ පුරෝගාමී සමාගම ලෙසින් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා එළඹෙයි. ඒ අනුව, පෙර දියත් කරන ලද 5G Ready ජාලය, දැන් දිස්ත්‍රික්ක 15ක් පුරා ව්‍යාප්ත කිරීමට ඩයලොග් සමත් වෙයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමඟින්, ඩයලොග් දිවයින පුරාම දිස්ත්‍රික්ක 15 ක් දක්වා ව්‍යාප්ත කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම 5G Ready ජාලය හරහා පාරිභෝගිකයින්ට වඩාත් උසස් සම්බන්ධතාවයක් ලබාදීමට සමත් වෙයි. ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, නුවරඑළිය, යන දිස්ත්‍රික්ක මෙන්ම, ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, යාපනය, සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙම Dialog 5G Ready ජාලය අඛණ්ඩව විහිදේ. ඉන් නොනැවතී නාගරික මෙන්ම ගම්බද ප්‍රදේශ කරාද එහි ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරමින්, දහස් ගණනක් ශ්‍රී ලාංකිකයින්ට 5G තාක්ෂණයේ මහිමය අත්විඳීමට අවස්ථාව ඩයලොග් මේ හරහා උදාකරයි. ඒ අනුව, දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට, අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය ඔස්සේ තාක්ෂණික නවෝත්පාදන සමගින් බලගැන්වීමට මෙම පුළුල් ජාලය තුළින් ඉඩකඩ සැලසේ.

අනාගත පරම්පරාවේ තාක්ෂණය සහ යටිතල පහසුකම් සඳහා අඛණ්ඩ ආයෝජන සිදුකරන ඩයලොග්, 2018 වසරේ දකුණු ආසියානු කලාපය තුළ සිය 5G හැකියාවන් ප්‍රදර්ශනය කළ පළමු විදුලි සංදේශ සමාගම බවට පත් වූ අතර, ඉන් නොනැවතී දකුණු ආසියානු මෙන්ම ආසියානු කලාපයේම ප්‍රථමයා ලෙස සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක්ම අත්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G සඳහාම වූ සංඛ්‍යාත යොදාගනිමින් Standalone 5G අත්හදාබැලීමේ ජාලයක් ක්‍රියාත්මක කිරීම, ඒ ඔස්සේ මෙරට මුල්වරට Voice over 5G (VoNR) සේවාව අත්හදා බැලීම ආදිය ඒ අතර වෙයි. එවැනි සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සමගින් කලාපයේ ප්‍රමුඛයා ලෙසින් පුරෝගාමී මෙහෙවරක නියැළීමට ඩයලොග් සමත්ව තිබේ.

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණික නිලධාරී රංග කාරියවසම් මහතා මෙලෙස අදහස් දැක්විය. “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය හැඩගස්වමින්, පුද්ගලයින්, ව්‍යාපාර සහ ප්‍රජාවන් සවිබල ගන්වන තාක්ෂණික නවෝත්පාදන වෙනුවෙන් අඛණ්ඩව ආයෝජන සිදුකරන අතරතුර, වඩාත්ම උසස් අධිවේගී 5G Ready ජාල ව්‍යාප්තිය මෙලෙස සිදුකිරීම, අප විසින් තැබූ තවත් වැදගත් පියවරක් වශයෙන් සැලකිය හැකියි. මෙම ජයග්‍රහණය තුළින්, නවෝත්පාදනය සඳහා අපගේ නොසැලෙන කැපවීම වගේම, ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා අත්දැකීමක් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත පිිරිනැමීමේ අපගේ දැක්මත් පිළිබිඹු කෙරෙනවා.”

ඩයලොග් හි 5G Ready පර්යේෂණ ජාලයෙන් ආවරණය වන පාරිභෝගිකයින්ට, දැන් වඩාත් කාර්යක්ෂම අධිවේගී 5G අන්තර්ජාල සම්බන්ධතාවයේ පරිවර්තනීය හැකියාවන් අඛණ්ඩව අත්විඳිය හැකි වේ. ඒ අනුව, විනෝදාස්වාද, අධ්‍යාපනික, සෞඛ්‍ය සේවා මෙන්ම කර්මාන්ත හා ව්‍යවසාය ක්ෂේත්‍රයන් හි අනාගත app වඩාත් විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමට හැකි අධිවේගී සම්බන්ධතාවකට ඔවුන්ට පිවිසිය හැක.

ඩයලොග් පාරිභෝගිකයන් හට www.dialog.lk/5gවෙත පිවිසීමෙන් ඩයලොග් 5G අත්හදාබැලීම් ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම ඇතුළු නවතම තොරතුරු දැනගැනීමට අවස්ථාව හිමිවේ.