பொருள் விரிவாக்கம்

ඩයලොග්, 2026 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී, ශ්‍රී ලාංකීය ජනතා ප්‍රසාදයෙන් වසරේ සන්නිවේදන සහ සේවා සන්නාමය ලෙසින් අභිෂේක ලබයි

2026 මාර්තු 19         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, 2026 මාර්තු 18 වැනිදා පැවති ‘SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී’ විශිෂ්ටතම සම්මාන දෙකකට හිමිකම් කීමට සමත්විය. එහිදී, අඛණ්ඩව 15 වන වරටත් ‘වසරේ සන්නිවේදන සන්නාමය’ලෙස හා 5 වන වරටත් ‘වසරේ සේවා සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වීමට තම සමාගමට හැකි වු බව, ඩයලොග් සාඩම්බරයෙන් දැනුම් දෙයි. දිවයින පුරා පාරිභෝගික මනාපය අනුව පිරිනැමෙන මෙම සම්මාන මගින්, ඩයලොග් සන්නාමය කෙරෙහි මෙරට ජනතාවගේ අඛණ්ඩ කැමැත්ත මැනවින් පිළිබිඹු වේ.

2007 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM-KANTAR ජනතා සම්මාන උළෙල, සම්මාන කාණ්ඩ ගණනාවක් යට‌තේ, දිවයින පුරාම පාරිභෝගිකයින්ගේ ස්වාධීන කැමැත්ත විමසා බලමින් ජයග්‍රාහී සන්නාම හා පුද්ගලයින් තෝරා පත් කරගන්නා මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ, “පාරිභෝගික ජනතාව ඩයලොග් කෙරෙහි තබා ඇති විශ්වාසය, මිලියන ගණනක් වූ අපේම ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම තවදුරටත් ශක්තිමත් කරන්නක්. ඒ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් අපගේ කෘතඥතාව ඔවුන් වෙත පුද කිරීමට කැමතියි. අපගේ සේවාවන් සහ ඩිජිටල් පද්ධතීන් අඛණ්ඩව යාවත්කාලීන කරමින් ඔවුන් වෙත වඩාත් උසස් අත්දැකීමක් පිරිනැමීම නිරන්තරයෙන් අපගේ අවධානය යොමු වෙනවා. ඒ වගේම, ජන ජීවිත සහ ව්‍යාපාර සරුසාර කරමින් ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමේ අපගේ මූලික අරමුණෙහි ස්ථිරසාරව අපි කටයුතු කරනවා.”

දිවයින පුරාම ශ්‍රී ලාංකිකයින්ගේ මනාපය පිළිබඳ සාක්ෂි දරමින් ඩයලොග් හිමිකර ගත් මෙම සම්මාන මගින් පිළිබිඹු වන්නේ, ශීඝ්‍රයෙන් වෙනස් වන ඩිජිටල් ලෝකය තුළ පුද්ගලයින්ගේ, නිවාසවල සහ ව්‍යාපාරවල සන්නිවේදන අවශ්‍යතා නිවැරදිව සපුරාලමින්, ඔවුන් වෙත තව තවත් සමීප වෙමින් ඩයලොග් ඉටු කරන සුවිශේෂී කාර්යභාරයයි.