Body

ඩයලොග් සහ MEPA එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G ජාලය තුළින් සවිබල ගැන්වූ ජලය පිරිසිදු කිරීමේ ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රය දියත් කරයි

2025 නොවැම්බර් 12        කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

වමේ සිට: එම අවස්ථාවට සහභාගි වූ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, කේ. ඒ. ඩී, චතුර රුවන් තරංග මහතා, මොරටුව නගරාධිපති නිශාන්ත ෆර්ඩිනැන්ඩු මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා, ගරු පරිසර අමාත්‍ය ධම්මික පටබැඳ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) හා අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G-ජාලයෙන් සවිබල ගන්වන ලද, ජලය පිරිසිදු කිරීමේ ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රය එළිදක්වන ලදී. පරිසර ආරක්ෂණය උදෙසා තැබූ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙසින්, මෙරට ජල මාර්ග හා පරිසර පද්ධති සුරක්ෂිත කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා, 5G තාක්ෂණයේ අසීමිත හැකියාව විදිහා දක්වමින් ක්‍රියාත්මක වන මෙම රෝබෝ යන්ත්‍රය, පාරිසරික තත්ත්වයන් සජීවීව අධික්ෂණය කිරීමේ කාර්යය සඳහාත්, ජලය මත පාවෙන අපද්‍රව්‍ය එක්රැස් කිරිමේ කාර්යය සඳහාත් සාර්ථකව යොදාගැනේ.

5G සම්බන්ධතාවය සමගින් බලගැන්වෙන මෙම රොබෝ යන්ත්‍රය, AI සහ රොබෝ තාක්ෂණයේද මහිමයෙන් සවිමත්ව, ශ්‍රී ලංකාවේ ගංගා ඇළදොළ වැව්පොකුණු ආදියෙහි පාවෙන අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ මෙහෙයුමෙහි නිරත වේ. ඒ අනුව, මෙමගින් එක් මෙහෙයුමකදී, අක්කර 50 සිට 100 දක්වා ජල මතුපිට ප්‍රදේශයක් පිරිසිදු කිරීමටත්, ප්ලාස්ටික් බෝතල්, බෑග් හා පොලිතින් කොළ ආදී ඝන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් දක්වා එක්රැස් කිරීමටත් හැකියාව පවතී. එම මෙහෙයුම් සාර්ථකව සිදුකිරිම තුළින්, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 14 න් අපේක්ෂිත පරිදි, ජලජ ජීවීන් සුරක්ෂිත කිරීමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමට සහය වීම සහ සාගරයට ප්ලාස්ටික් ඇතුළුවීම වැළැක්වීම අරමුණයි.

මෙම රොබෝ යන්ත්‍රය එළි දැක්වීමේ උත්සවය, නොවැම්බර් 11 වැනිදා බේරේ වැව ආශ්‍රිතව පැවැත්විණි. ‌ඒ් පරිසර අමාත්‍ය ගරු ආචාර්ය ධම්මික පටබැඳි, MEPA ආයතනයේද සභාපති, සමන්ත ගුණසේකර මහතා , ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ඇතුළුව පරිසර අමාත්‍යාංශයේද, MEPA ආයතනයේද, ඩයලොග් ආයතනයේද නියෝජිතයින්ගේ සහභාගිත්වයෙනි. AI, සහ රොබෝ තාක්ෂණයේ තාක්ෂණික නවොත්පාදන ඔස්සේ, ශ්‍රී ලංකාව පාරිසරික අභියෝග ජයගැනීම සඳහා යන ගමන්මග අනාගත සම්බන්ධතාවයෙන් එනම්, 5G සම්බන්ධතාවය සමගින් බලගැන්වීමට ඩයලොග් කටයුතු කරන ආකාරය එහිදී සජීවීව විදහා දැක්විණි.

එහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය ගරු ආචාර්ය ධම්මික පටබැඳි මහතා මෙලෙස සඳහන් කළේය. "අපගේ පාරිසරික අරමුණු ජය ගැනීමට, විවිධ අංශ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙවැනි වැඩසටහන්වලින් මැනවින් පෙන්නුම් කෙරෙනවා.” වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ජල සම්පත් ආරක්ෂා කරමින් ඒවා අනාගත පරපුරට දායාද කිරිම සඳහා ඩයලොග් හා MEPA ආයතනය අත්වැල් බැඳගෙන මෙම මෙහෙවරෙහි තාක්ෂණික දායකත්වය ලබාදීම පිළීබඳව අපගේ ප්‍රශංසාව පුද කිරීමටත් කැමතියි.” යනුවෙනි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, සමන්ත ගුණසේකර මහතා අදහස් දක්වමින් මෙලෙස සදහන් කළේය. “අපගේ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ කටයුත්ත සඳහා 5G ජාලය තුළින් සවිබල ගැන්වූ ජල පිරිසිදු කිරීමේ ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රය යොදාගැනීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ, තාක්ෂණික නවෝත්පාදන භාවිතයෙන් පාරිසරික වශයෙන් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දක්වන කැපවීමයි. ඒ සඳහා පුරෝගාමි කාර්යභාරයක් ඉටුකරන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අප සමග අත්වැල් බැඳගත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට, අපගේ හෘදයාංගම ස්තූතිය පුදකිරීමට කැමතියි. සාමූහික අරමුණු ජයගැනීම හා තාක්ෂණයේ මහිමය තුළින් පිරිසිදු රටක, තිරසාර අනාගතයක් කරා යා හැකි ආකාරය පිළිබඳව මෙම වැඩසටහන හොඳම උදාහරණයක්.”

ඩයලොග් හි 5G සම්බන්ධතාවයෙන් බලගැන්වෙන මෙම කාර්යක්ෂම රොබෝ යන්ත්‍රය පාරිසරික තත්ත්වයන් සජීවීව HD වීඩියෝ ලෙසින් වීඩියෝගත කිරීමේ හැකියාවෙන් යුක්ත වන බැවින්, වෙනත් ස්ථානයක සිට අධීක්ෂණය කරමින් දුරස්ථව ඊට මෙහෙයුම් කටයුතු සිදුකළ හැක. IoT තාක්ෂණය භාවිතයෙන් නිමවන ලද ඩෑෂ්බෝඩ් එක මගින් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු එසැණෙන් ලබාදෙන අතර, AI තාක්ෂණය මගින් අපද්‍රව්‍ය හඳුනාගැනීමද, වඩාත් නිවැරදිව ස්ථාන දැනගැනීමටද ඊට හැකියාව ඇත. ජල මතුපිට අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහයෙුමේදී, වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිත ආකාරයෙන් කටයුතු කිරීම සහතික කරමින් විද්‍යුත් පද්ධතියක් මගි මෙම යන්ත්‍රය පණ ගන්වයි.

“මෙම කටයුත්ත, 5G සම්බන්ධතාවයෙන් එහා ගොස්, පුළුල් අරමුණික් වෙනුවෙන් කැපවිය හැකි ආකාරය පෙන්වන උදාහරණයක්.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සිය අදහස් පළ කළේය. “මෙම තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ, ශ්‍රී ලංකාවේ පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා MEPA ආායතනය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබීම අපට ආඩම්බරයක්. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ, තාක්ෂණික වශයෙන් වඩාත් බුද්ධිමත්, හරිත සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන අපගේ පොදු දැක්මයි."

මෙලෙසින් ශ්‍රී ලංකාවේ අංක 1 5G සම්බන්ධතාවය සමගින්, AI තාක්ෂණය සහ පාරිසරික තිරසාරත්වය ඒකාබද්ධ කරමින්, පරිසරය සුරැකීම උදෙසා තාක්ෂණික නවෝත්පාදන බිහිකිරීමේ කාර්යය, ඩයලොග් යළිත් අර්ථ දක්වයි. ඒ අනුව, ශ්‍රී ලංකාව පුරාම හරිත හා ප්‍රශස්ත නාගරික පරිසර පද්ධතියක් ගොඩනැගීමටත්, තාක්ෂණික වශයෙන් බුද්ධිමත් නවෝත්පාදන බිහිකිරීම සඳහාත් 5G සම්බන්ධතාව හරහා මග පාදයි.