Body

ඩයලොග් ආසිආටා Doc990 ආයතනය සමඟ සහයෝගීත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට කඩිනමින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

මෙම සද්කාර්ය තුළින් බාධාවකින් තොරව අඛණ්ඩව හෘද සැත්කම් සිදුකිරීමට හැකියාව සැලසේ

ජූලි 21st, 2022         කොළඹදී

 

Doc990 Donate Critical Medical Consumables

ඡායාරූපයේ වමේ සිට දකුණට: Digital Health (Pvt) Ltd හි සේවා හා සන්නාම කළමනාකාරිණී අශීරා සැම්සුඩීන්, Digital Health (Pvt) Ltd හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සෝමශ්‍රී සුබ්‍රමනියම්,ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය,කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය නිලධාරී - සැලසුම් - වෛද්‍ය සාවිත්‍රි ධර්මරත්න, Digital Health (Pvt) Ltd හි සංවර්ධන ප්‍රධානී නවෝදා රත්නායක.

වර්තමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයකට මුහුණපා සිටින මෙරට සෞඛ්‍යය ක්ෂේත්‍රයට සහායවීම වෙනුවෙන් දරන ප්‍රයත්නයන් තවත් ඉදිරියට ගෙනයමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම Doc990 ආයතනය සමඟ එක්ව දිවයිනේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) හෘද සහ උරස් දැඩි සත්කාර ඒකකයට (CTICU) කඩිනමින් අවශ්‍ය රුධිරගත වායු විශ්ලේෂණ උපකරණ කට්ටල (Blood Gas Analyzers) පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

හෘද සහ උරස් දැඩි සත්කාර ඒකකයට (CTICU) අත්‍යවශ්‍ය රුධිරගත වායු විශ්ලේෂණ උපකරණ කට්ටල (Blood Gas Analyzers) පරිත්‍යාග කිරීම තුළින් ළමා රෝගීන්ගේ ජීවිත රැකගන්නට සමත්වන වෛද්‍ය සත්කාර සේවාවන් ලබාදීමට හැකියාව සැලසෙන අතර කිසිඳු බාධාවකින් තොරව හෘද සහ උරස් ශල්‍යකර්ම සිදුකිරීමටද පහසුකම් සලසයි. එමෙන්ම රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ප්‍රජාවට මෙන්ම මෙරට සේවා ක්ෂේත්‍රයේ සේවකයන්ට සහායවීම වෙනුවෙන් ඩයලොග් සමාගම දක්වන කැපවීමද මෙම පරිත්‍යාගය හරහා මැනවින් පෙන්නුම් කෙරෙන අතර, සමාජීය යහපැවැත්ම අරමුණු කොටගත් හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් මෑතකදී ක්‍රියාවට නංවන ලද 'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතය තුළින්ද එය පිළිබිඹු වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසා සිටියේ "වත්මන් ආර්ථික අර්බුදය හමුවේ එල්ලවී තිබෙන දැඩි බලපෑම් හමුවේ වුවද තම සේවාව වෙනුවෙන් දිවා රෑ නොබලා කුඩා දරුවන්ගේ ජීවිත රැකගන්නට උපරිමෙයෙන්ම කැපවන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන අනුපමේය සේවය වෙනුවෙන් අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා. දැඩි සත්කාර සේවාවක් අත්‍යවශ්‍ය සැමට මෙම පරිත්‍යාගය සහාය වන අතරේ, රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මෙන්ම වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සිත් තුළ පවතින පීඩාකාරී තත්වයට මෙම පරිත්‍යාගය හරහා යම්කිසි සහනයක් සැලසීමට හැකිවීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය සවිබලගන්වමින් සහායවීම වෙනුවෙන් අප විසින් ඉටුකරන ප්‍රජා වගකීමෙහි තවත් ඉදිරි පියවරක් වශයෙන් මේ වැඩපිළිවෙල හඳුන්වාදෙන්න පුළුවන්.” යනුවෙනි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජේසූරිය මහතා මෙලෙස අදහස් දක්වන ලදී. “රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් හෘද උරස් දැඩි සත්කාර ඒකකයට කඩිනමින් අවශ්‍ය රුධිරගත වායු විශ්ලේෂණ උපකරණ කට්ටල (Blood Gas Analyzers) පරිත්‍යාග කිරීමට කටයුතු කරමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ගත් මේ ක්‍රියාමාර්ගය මම බෙහෙවින්ම අගය කරනවා. ඒ වගේම මේ පරිත්‍යාගය ඩයලොග් ආසිආටා පීල්සී සමාගම හා අප රෝහල අතර පවතින මිත්‍රත්වය සහ හොඳ හිත මත සිදුවූවක්.මේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ජීවිත රැකගැනීමට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණවල දැඩි හිඟයකට අප වර්තමානයේ මුහුණපාමින් සිටින තත්වයක් තුළයි අපට මෙවැනි පරිත්‍යාගයක් හිමිවන්නේ.ඩයලොග් සහ Doc990 ආයතනය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම සුහදත්වය වෙනුවෙන් මගේ කෘතඥතාවය පළ කර සිටිනවා.මෙම ආයතන දෙකම අපට ඔවුන්ගේ සහාය අත්‍යවශ්‍යම මොහොතේ හැමවිටම ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා, විශේෂයෙන්ම කොවිඩ් වසංගතයේ උච්චතම කාලසීමාව තුළ පවා ඔවුන් අපට නොපැකිළව සහාය ලබාදීමට කටයුතු කළා.අපේ වෛද්‍යවරු,රෝහල් වෛද්‍ය කාර්යමණ්ඩලය සහ ළමා රෝගීන් ඔවුන්ගේ නොමසුරු සහායෙන් ප්‍රතිලාභ හිමිකරගෙන තිබෙනවා.”

Digital Health Services (Pvt) Ltd මගින් මෙහෙයවනු ලබන Doc990 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍යය සේවා විසඳුම් සම්පාදකයා වන අතර, මෙම සේවාව සඳහා ලියාපදිංචි වන ග්‍රාහකයන්ට ඔවුන්ගේ ජංගම දුරකතන හරහා ඩිජිටල් සෞඛ්‍යය සේවාවන් වෙනුවෙන් පහසුකම් සලසනු ලබයි. 2016 දී ආරම්භ කරන ලද Doc990 සේවාව ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහයට අයත් උප සමාගමක් වන අතර, www.doc.lk, 990 (ඇමතීමෙන්) හෝ Doc990 App ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ සිය පරිශීලකයන්ව දිවයින පුරා පිහිටි රෝහල් 140 කට අධික සංඛ්‍යාවක සේවයේ නියුතු වෛද්‍යවරුන් 5000 කට වැඩි පිරිසක් සමඟ සම්බන්ධ කරයි. මෙම සේවාවන් ඇන්ඩ්‍රොයිඩ් හෝ IOS ජංගම දුරකතන හරහා ලබාගත හැක.Doc990 වෛද්‍ය සේවාවන් රැසක් සලසන අතර ඒ අතරට දිවයින පුරා පිහිටි රෝහල් තුළ රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය චැනලින් සඳහා දින වෙන් කිරීම, ඩිජිටල් තාක්ෂණය හරහා වර්චුවල් ක්‍රමයට රෝගීන්ව සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හා සම්බන්ධ කිරීම, ප්‍රමිතියෙන් යුත් ඖෂධහල් සහ රසායනාගාර සේවා සමඟ සම්බන්ධ කිරීම වැනි සේවාවන් ඇතුළත් වේ.පාරිභෝගිකයන්ට නිවසේ සිටම ඒකාබද්ධ සෞඛ්‍යය සේවාවන් සලසාගැනීමට පහසුකම් සැලසීම Doc990 සේවාවේ අරමුණයි.