Body

GovPay මගින් රාජ්‍ය ආයතන සඳහා මුදල් ගෙවීමේ පහසුව ඩයලොග්, 55,000 කට අධික eZ Cash අලෙවි ජාලය හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ට ලබාදේ

2026 ජනවාරි 28         කොළඹ

 

(වමේ සිට): ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ, කේ. වී. කේ. අල්විස් මහතා, LankaPay හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී, සුපුන් වීරසිංහ මහතා සමගින්, පළමු සංකේතාත්මක ගනුදෙනුව සිදුකළ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතා එම ගනුදෙනුව සිදුකළ අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 මොබයිල් Wallet සේවාව වන Dialog eZ Cash, දිවයින පුරා 55,000 කට අධික eZ Cash අලෙවි ජාලය උපයෝගී කරනිමින්, රජයේ ඩිජිටල් මුදල් ගෙවීමේ පහසුකම වන GovPay හරහා මුදල් ගෙවීමේ හැකියාව සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත උදාකර දෙයි. ඒ අනුව, දැන් දිවයින පුරා ව්‍යාප්ත eZ Cash අලෙවි ජාලය හා සම්බන්ධ විය හැකි ඕනෑම තැනක සිට, මුදල් ගෙවීමේ පහසුව පවතී. මෙය, තාක්ෂණික පහසුකම් නොසලකා, රජයේ ඩිජිටල් සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයින් ඇතුළත් සේවාවන් මෙන්ම ජනතාවට සම ප්‍රවේශය සලසන සේවාවන් බවට පත් කිරීම උදෙසාත්, මුල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම උදෙසාත් ගනු ලැබූ සුවිශාල ඉදිරි පියවරකි.

රජයේ GovPay සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා දීප ව්‍යාප්ත පුළුල් අලෙවි ජාලයක් උපයෝගී කරගැනීම තුළින්, දුර බැහැර ජනතාවටත් ප්‍රාදේශීය මට්ටමින් රජයේ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා සේවාවන් රැසක් ලබාගැනීමට අවස්ථාව සැලසේ. ඒ අනුව, ස්මාර්ට් දුරකතන, Apps භාවිත නොකරන පාරිභෝගිකයින්ට මෙන්ම ඩිජිටල් සාක්ෂරතාවය අඩු පාරිභෝගිකයින්ටද, ළඟම පිහිටි eZ Cash අලෙවි නියෝජිත හරහා පොලිස් දඩ මුදල් මෙන්ම, මහා නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ විශ්වවිද්‍යාල සහ අනෙකුත් රාජ්‍ය ආයතන වෙත ගෙවිය යුතු ගාස්තු ඉතා පහසුවෙන් ගෙවීමට හැකියාව ලැබේ. සියලු ශ්‍රී ලාංකිකයින්ට මෙම පහසුකම ලබාදීම සඳහා පමණක් නොව, එය වඩාත් සහනදායී මිලට ලබාදීමේ අරමුණෙන්, GovPay සේවාවන් සඳහා eZ Cash අලෙවි නියෝජිතයන් හරහා ගෙවීම් සිදුකිරීමේදී, පාරිභෝගිකයින්‌ගෙන් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර, GovPay වෙතින් අය කෙරෙන රු. 15 ක සාමාන්‍ය සේවා ගාස්තුව පමණක් අය කෙරේ.

මෙම සේවාව දීප ව්‍යාප්තව දියත් කිරීම තුළින්, රජයේ GovPay සේවාවන් ශ්‍රී ලාංකිකයින්ට වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රායෝගිකව සලසන සමාගම බවට ඩයලොග් පත් වෙයි. සෑම ප්‍රදේශයකම ජනතාවට රජයේ සේවාවන් ලබාගැනීම සඳහා සම අවස්ථා හිමිවන බව සහතික කිරීම වෙනුවෙන්, තම විශ්වාසනීය අලෙවි නියෝජිත ජාලය ඩයලොග් මෙලෙස උපයෝගී කරගනියි. ඒ හරහා සියලු දෙනා ඇතුළත් කාර්යක්ෂම සේවාවන් බවට රජයේ සේවාවන් පත් කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා තම සහය ලබාදීමට ඩයලොග් කටයුතු කරයි.

GovPay සහ eZ Cash ඒකාබද්ධ සේවාව නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, ඩයලොග් ආසිආටා පීඑල්සී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, LankaPay හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ, කේ. වී. කේ. අල්විස් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

දිවයින පුරා ව්‍යාප්ත eZ Cash ජාලය හරහා මෙම සේවාව නිල වශයෙන් දියත් කිරීම, නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ ඩයලොග් සමූහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් සිදුකෙරිණි. එයින් අනතුරුව සංකේතාත්මක වශයෙන් මුල්ම ගනුදෙනුව නියෝජ්‍ය අමාත්‍යතුමා අතින් සිදුකරන ලදී. එම සංකේතාක්මක ගනුදෙනුව මගින්, ප්‍රාදේශීය eZ Cash මධ්‍යස්ථාන හරහා වඩාත් පහසුවෙන් ජනතාවට රජයේ ආයතන සඳහා ගෙවීම් සිදු කළ හැකි ආකාරය ප්‍රායෝගිකව පෙන්නුම් කරනු ලැබිණි.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙලෙස සඳහන් කළේය. “eZ Cash වෙළෙඳ ජාලය හරහා GovPay පහසුකම රටපුරා ව්‍යාප්ත කිරීම, මෙරට සෑම ශ්‍රී ලාංකිකයකුටම තමන් පදිංචි ස්ථානය හෝ තාක්ෂණික පහසුකම් නොසලකා රජයේ ඩිජිටල් සේවාවන් ලබාගත හැකි බව සහතික කිරීම සඳහා ගත් ඵලදායී පියවරක්. ශ්‍රී ලංකාවේ පුළුල් ඩිජිටල් ආර්ථික දැක්මට අනුකූලව, මෙලෙස රටපුරාම ව්‍යාප්ත වුණු වෙළෙඳ ජාලයක් උපයෝගී කර ගනිමින්, රජයේ සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයන් ඇතුළත් සේවාවන් බවටත්, ජනතාවට පහසුවෙන් ලබාගත හැකි සේවාවන් බවටත් පත් කිරිමට අප කටයුතු කරනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම වැඩසටහන හුදෙක් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමක් පමණක් නොවෙයි. පුරවැසියන් සහ රජයේ සේවාවන් අතර පවතින සම්බන්ධතාවය ජාතික මට්ටමින් ශක්තිමත් කිරීමක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. 55,000 කට අධික eZ Cash මධ්‍යස්ථාන හරහා රජයේ GovPay පහසුකම ජනතාවට ලබාදීමෙන්, රටේ ඕනෑම තැනක සිට රජයේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසමින් මූල්‍ය අන්තර්කරණය සහ රටේ ඩිජිටල් පරිවර්තනය සඳහා අපගේ දායකත්වය තවදුරටත් තහවුරු කෙරෙනවා.”

eZ Cash සමග GovPay සේවාවන් මෙලෙස ඒකාබද්ධ කරමින් දියත් කරන ඩයලොග් ආයතනය, එම පියවර තුළින් මෙරට මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමට සහ ඩිජිටල් සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට ලබාගත හැකි සේවාවන් ලෙසින් සමීප කිරීම සඳහා වන කැපවීම තවදුරටත් සනිටුහන් කරයි. වැඩි විස්තර සඳහා 0777 456 456 අමතන්න හෝ https://www.ezcash.lk/ වෙත පිවිසෙන්න.