ඩයලොග්, 2026 ලෝක ශ්‍රවණ දිනය 2026 වෙනුවෙන් රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානය හා එක්වෙයි
මාර්තු මාසය පුරාම ශ්‍රවණ පරීක්ෂණ වැඩසටහන් දියත් කරයි
2026 මාර්තු 06 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, 2026 ලෝක ශ්‍රවණ දිනය නිමිත්තෙන් රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානය (RAC) හා එක්ව, මේ මාර්තු මාසය පුරාම ජනතාවට ශ්‍රවණ පරීක්ෂණ සිදුකරගත හැකි සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාවට නංවයි. රට පුරා ශ්‍රවණ අපහසුතාවලින් පෙළෙන පිරිසට නොමිලේ ශ්‍රවණ පරීක්ෂණ සිදුකර ගැනීමට හැකියාව සලසමින් දියත් කරන වැඩසටහන මගින්, ශ්‍රවණ සත්කාර සේවා ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් ලබාගත හැකි පරිදි ව්‍යාප්ත කිරීමට ඩයලොග් සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු වේ.
"සමාජයෙන් පන්ති කාමරයට: සෑම දරුවෙකුටම ශ්‍රවණ සත්කාර" මැයෙන් වන 2026 වසරේ ගෝලීය තේමාවට අනුව දියත් කෙරෙන මෙම වැඩසහන මගින්, පාසල් දරුදැරියන්ට මෙන්ම, ශ්‍රවණ අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින්ට තම ශ්‍රවණ අපහසුතා සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදුකර ගත හැකි වේ. ඒ අනුව, අදාළ ප්‍රතිකාර නිසිකලට ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට පුළුල් අවබෝධයක් ලබාදේ. සෑම පුද්ගලයකුටම තම වයස් කාණ්ඩය නොසලකා, ශ්‍රවණ පරීක්ෂණ සිදුකර ගැනීමට පුළුල් ලෙස අවස්ථාව සලසා ඇති මෙම වැඩසටහන, ලංකා අන්ධ හා බිහිරි විද්‍යාලය හා අත්වැල් බැඳගනිමින් රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානය (RAC) මගින් සංවිධානය කරයි.
මාර්තු මස 03 වැනිදා සිට 31 වැනිදා දක්වා, පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා නොමිලේ පැවැත්වෙන ශ්‍රවණ පරීක්ෂණ සඳහා ඕනෑම වයස් කාණ්ඩයක අයකුට සහභාගි වීය හැක. විශේෂයෙන්ම, පරීක්ෂණ සඳහා පහසුවෙන් යොමුවිය නොහැකි පිරිසට මෙමගින් සැලසෙන සේවය අතිමහත්ය. 011 730 7308 හෝ 077 394 5945 යන දුරකතන අංක අමතා ශ්‍රවණ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන්කරවා ගත හැකිය.
වසර ගණනාවක් පුරාම, ලංකා අන්ධ හා බිහිරි විද්‍යාල සිසුන්ට මෙන්ම මෙරට අත්‍යවශ්‍ය ශ්‍රවණ සහ කථන ආබාධ සහිත පුද්ගලයින්ටද අත්‍යවශ්‍ය පුනරුත්ථාපන සේවාවන් වෙත ප්‍රවේශය සහතික කර ඇති ඩයලොග්, රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානය වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල, (RAC) රුපියල් මිලියන 70 කට අධිකය. ඒ අනුව එම මධ්‍යස්ථානය හරහා අද වනවිට සේවාවන් රැසක් සිදු කෙරේ. රජයේ රෝහල්වල උගුර කන නාසය සම්බන්ධ විශේෂඥවරුන් විසින් යොමුකරන රෝගීන් සඳහා නොමිලේ ශ්‍රවණ පරීක්ෂණ සිදු කිරීම, නිරතුරු කථන චිකිත්සාවන් සිදුකිරීම හැරුණු විට ශ්‍රවණ උපකරණ තක්සේරුව හා ඒවා පැළඳවීම මෙන්ම පුනරුත්ථාපනයට අදාළ පසු විපරම් සේවා හා දැනුවත් කිරීම් සමගින් සේවාවන් රැසක් ඒ හරහා පිරිනැමේ. එමෙන්ම, කැලණිය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු වැඩසටහන් සමඟ අත්වැල් බැඳගනිමින් අනාගත ශ්‍රවණ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ කටයුතුද සිදුකරන මෙම මධ්‍යස්ථානය මගින්, අද වන විට ශ්‍රවණ ආබාධ සහිත ලක්ෂයකට අධික පිරිසකට සෙත සලසා තිබේ.
එම මධ්‍යස්ථානයට අනුග්‍රහය දක්වමින්, ශ්‍රවණ සහ කථන පුනරුත්ථාපන වැඩසටහන් මෙලෙස දියත් කිරීමට පහසුකම් සලසන ඩයලොග් සමාගම, මෙරට සෞඛ්‍ය සේවාව සියලු දෙනාට ප්‍රවේශ විය හැකි සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරයි.